Saturday, December 30, 2017

බත් දංකුඩ


දැනුණ කුසගිනි
නිවා ගන්නට
ජනේලෙන් එන
උණු බතේ සුවඳ
විඳ විඳ
බෙදාගෙන කමි
ඇතිළියෙහි
පතුළටම
කර වුණු
දංකුඩය

Friday, December 29, 2017

..

බිය නොවන්නැ යි කියා
හිස අතගාන
සෙනේ බර සුරතක්..
දැක පුරුදු මතක
ගොඩ අදින
හිතාදර දෑසක්..
නෙත පියෙන
මොහොත පුරවන
සොඳුරු ම මතක බිඳුවක්..
වැසී ගිය දොර පියන
පිටුපසින් ඇත
සැලෙන ළතැවෙන
සිත් හතරක් - පහක්..

Monday, December 18, 2017

ඉගිළ ගිය වරා මල වෙත - වරා ගස වෙතින්..


සිහිනයකි එ දවස
නුඹ පැලඳ මා හැඩ වුණ
මඳ සුළඟ හා මිතුරු ව
නුඹ ගියා නොපෙනෙන දුර
කටුක රළු පොළොවට
මුල් ඇදපු මම තනියම
අවු වැසි සුළං අදටත්
ඇත පෙර පුරුදු පරිදි ම
ඉර හෙට ද පායයි
නුඹ ගැන නිනව් නැතිවම



Tuesday, November 28, 2017

මිරිඟුවක්


මිරිඟුවක් කියන්නෙ ඇත්තටම එතැන නැති දෙයක් තියනව වගේ පේන එකට. කාන්තාර වල දි ක්ෂේම භූමි මිරිඟුවක් විදියට පේනවලු. ඒත් ඇත්තටම මිරිඟුවක් දකින්න කාන්තාරයකට යන්න ඕන ම නෑ. මිනිස්සු බොහෝ විට දුවන්නෙ මනසට පේන මිරිඟු පස්සෙ. ඒ පේන දේ ඇත්තටම එතැන නැති නිසා ඔබට හිතේවි මිරිගුව කියන්නෙ අප විසින් නොදැකිය යුතු, මේ ලෝකෙ නොපැවතිය යුතු දෙයක් කියල. ඒත් ඇත්තටම නැති දෙයක් දැකල මොහොතකට හරි සතුටු වෙන්න ලැබෙනව නම් ඒක කොච්චර හොඳයි ද?
හැබැයි, මිරිගුව පස්සෙ දුවල හති වැටෙන්න කලින් අපි දැනගන්න ඕන ඒක ඇත්තක් නෙවෙයි, මිරිඟුවක් කියල.

Wednesday, November 22, 2017

අන්තිම තුරුම්පුව


සිනහ පොද වියැකිණි පණ ඇදපු තනිවම
පිනි බිඳුව විලසින් හිරු කිරණ අබිමුව
දැන දැන ම ගැසුවෙමි පරදින්න වෙන බව
හැමදාම වරදින අන්තිම තුරුම්පුව

Friday, November 17, 2017

නොමියෙමි

මාලුවෙක් වෙමි මම
ගොඩ බිමෙහි මත ඇවිදින..
වරල් පෙති පොඩි
මල් පෙත්තකින් වහගෙන...
සැලෙන නෙත් යුග
නැවත පින්තාරු කරගෙන..
සිනාසෙමි මම
හුස්ම පොද තද කරගෙන..

සමු නොගෙනම..



තිර නොමැති රුව වුවද දිනක අත හැර යන්න
සුවඳ දෙන මිතුරු කම් හැකිය අරගෙන යන්න
සසර මතු දිනක යලි හිමි නිසා හමු වෙන්න
යන විටදි හිතුව මම සමු නොගෙන නික්මෙන්න

Thursday, November 16, 2017

අබ මිටක්

නොදකිනා එතෙරක්, දුර කතර ගෙවාගෙ              න
නොවසිනා වැස්සක සිසිලසක් මවාගෙ                  න
ඇවිදිනා තුරාවට යමි දිරිය වඩා ගෙ                       න
නොලැබෙනා ගෙයකින් අබ මිටක් සොයාගෙ         න


Monday, November 13, 2017

සරුන්ගල්




නුවන් ඇද බැඳ තබන පාටකින් සැරසෙන්න
සුළන් අත අඳුනගෙන ඉහලටම ඉගිළෙන්න
තමන් දැක සතුටුවෙන නෙත් හුඟක් දැක ගන්න
සරුන්ගලයත් කැමති නිල් අහසෙ පා වෙන්න

අඳුරු වැහි වලාකුළු තව දුරට ගියාවේ
මිතුරු සුළඟ ම තවත් ළඟට ළං වුණාවේ
සතුරු නෙත් වලින් ඇගෙ මුහුණ සැඟවුණාවේ
නුහුරු වුව ගමන මඟ වෙහෙස දුරු වුණාවේ

Friday, November 10, 2017

කවි දෙකක්..


තනුවක් වෙලා දිවියෙහි කවි පද වැලට
දෙනුවන් ලෙසින් රැක ගති මා ගෙන ලඟට
වෙනුවෙන් ඇරුණු හද ගැඹරෙහි මගෙ නමට
උණුසුම දෙවැනි නැහැ වෙන අන් කිසිවකට

පවසා මුදු වදන්  සෙනෙහසකින් යුතුව
මුව මත මගේ හසරැළි මල් වැල් එතුව
සුව පත් කළ මසිත, සිත-තුට නිති පැතුව
දවසැ'ර ගන්නෙ කොහොමද මම නුඹ නැතුව

Thursday, November 9, 2017

පැතුමක්..

කවුළුවෙන් එපිට හිරු - අවරට නොයේවා
තුරු මුදුනෙ පිපුණු මල් - මුකුලිත නොවේවා
සිසිල දෙන වැහි බින්දු - නොරටට වහීවා
මට අහිමි හසරැල්ල - මිලින නොම වේවා

Wednesday, November 8, 2017

අළු පාට හීනයට - පාට හත තවරන්න


මඳ සුලඟ යලි එන්න
හිත මඳක් පිසලන්න
අමතකව බොඳව ගිය
මතක යලි ඔප වෙන්න

හිරු කිරණ දික් වෙන්න
උණුසුමක් ගෙන දෙන්න
මිලානව පරව ගිය
සිනා මල් පූදින්න

වැහි බිංදු වැගිරෙන්න
සිත් පොළොව තෙත් වෙන්න
අතීතයෙ වල දැමූ
සිහින යලි ගොඩ ගන්න

නිල් අහස ඉඩ දෙන්න
දේදුන්න පායන්න
අළු පාට හීනයට
පාට හත තවරන්න

Monday, November 6, 2017

...

හොඳට - හොඳයි
නරකට - නරකයි
නම්,
එතන කොහෙද
ආදරයක්...?

ජීවිතේ කියන්නෙ කැඳ බීමක්..


ජීවිතේ කියන්නෙ කැඳ බීමක්.

එක් අයෙකුට වැඩිපුර බඩගිනි දැනෙද්දි තවත් අයෙකුට එතරම් බඩගිනි නැති වෙන්න පුළුවන්. එක් එක්කෙනාට බඩගිනි දැනෙන තරම වෙනස් වගේම එක් එක්කෙනාට ලැබෙන කැඳ ප්‍රමාණත් වෙනස්.

එහෙම වුණාට වැඩිපුර බඩගිනි කෙනාට වැඩිපුර කැඳත් අඩුවෙන් බඩගිනි කෙනාට අඩුවෙන් කැඳත් හම්බවෙන්නෙ නම් නෑ. බඩගිනි කෙනෙකුගෙ කෝප්පෙ පතුලෙ කැඳ පොඩ්ඩක් තියෙද්දි බඩගිනි නැති කෙනෙකුගෙ කැඳ පිරිල ඉතිරිල යනව. තවත් කෙනෙකුගෙ කෝප්පෙ පිරිල තිබුණත් හොඳටම බඩගිනි වුණත් කැඳ බීල බඩගින්න නිවා ගන්න හැකියාවක් නැති වෙනව.

බුදු දහමට අනුව නම් එකිනෙකාට කැඳ හම්බවෙන තරම තීරණය වෙන්නෙ එකිනෙකාගෙ කර්ම ශක්තිය අනුවයි.

තවත් කෙනෙකුගෙ කෝප්පෙ තියන කැඳ ප්‍රමාණෙ තමන්ගෙ කෝප්පෙ තියන කැඳ ප්‍රමාණෙට සමාන වුණා කියල එයාගෙත් තමන්ගෙත් තත්ත්වය සමානයි කියන්න බැහැ. මොකද අනිත් කෙනාගෙ බඩගින්නෙ තරම ගැන අපි දන්නෙ නැති නිසා.  ඒ නිසා තවත් කෙනෙකුගෙ බඩගින්න ගැන වත් කෝප්පෙ තියන කැඳ ප්‍රමාණ ගැන වත් විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ.

කැඳ ඇති වුණත් මදි වුණත් තමන්ගෙ කෝප්පෙ තියන කැඳ ටික බීල සෑහීමකට පත් වෙන්න සිද්ද වෙනව.

පින්තූරය - http://www.yummymummykitchen.com/2017/02/superfood-breakfast-quinoa-bowl-with.html?m=1

ගැස්ට්‍රයිටිස්


ගැස්ට්‍රයිටිස්;
හිතේ අමාරුව
බඩට දැනෙන හැටි.

Friday, November 3, 2017

සාධාරණ කලාකරුවෙක් සහ අසාධාරණ රොබෝවෙක්

නොනැවතී කැරකෙන ඔරලෝසු කටු එක්ක තරඟෙට දුවන මිනිස්සු. ඒ ඔරලෝසු කටු එක්කම දුවපු මගේ සිතුවිලි ලෝකෙ සුන්දරයි. වර්ණවත්. ඒත් සුන්දර බව සහ අසුන්දර බව අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක්. ඔහේ පාවෙන සිතුවිලි හුළඟට ගහහෙන යන්නෙ නැතුව මගේ ඔලුවෙ ගොඩගැහෙද්දි දරාගන්න බැරි වුණ තැන මං කරේ මත් පැනේ පිහිට හොයපු එක. මත් පැන් මගේ හිත තාවකාලිකව සනීප කරත් අක්මාව සදාකාලිකව අසනීප කරා. මං දැන් මිය යමින් ඉන්නෙ. දොස්තරට නොතේරෙන දෙයක් මට දැනෙනව. ඒ තමයි ඔලුවෙ ගොඩ ගැහුණ අමිහිරි සිතුවිලි මගේ හුස්ම ටිකෙන් ටික හිර කරන බව.

ඔහු රොබෝවෙක්. අසාධාරණ වෙන්න ඕන තැනදි අසාධාරණ වුණ කෙනෙක්. මම සමාජ සම්මත සාරධර්ම වලින් පොහොසත් වෙද්දි ඔහු පොහොසත් වුණේ මුදල් වලින්. රොබෝවෙකුට හැඟීම් තියනවද? නැහැ. ඒත් හැඟීම් පෙන්විය යුතු තැනදි එතැනට වුවමනා හැඟීම වුවමනා තරමට වුවමනා කාල සීමාවෙදි පෙන්නන්න රොබෝවෙකුට  පුලුවන්. රොබෝ ජීවිතය ලස්සනයි. පරිපූර්ණයි. සමාජ රාමුවට හොඳින් ගැලපෙන පින්තූරයක් වගෙයි. උඩින් තියන ලස්සන පින්තූරෙ විතරයි වීදුරුවෙන් පිටතට පේන්නෙ.

මිය යන මොහොතෙදි මං දැනගත්තෙ රොබෝ මූලධර්මය; මේ අසාධාරණ ලෝකෙට සාධරණයක් ඉෂ්ඨ කරන්න මහන්සි වෙන්න ඕන නෑ කියන එක.

Thursday, November 2, 2017

කවි

දමා සිත - අගුළු තද කළ වෙලාවේ
තෙමා උවන කඳුළැලි වැගිරුණාවේ
යොමා නෙත මවෙත තරු කැට හිනාවේ
අමාවක දිනයි අද සඳ කලාවේ

දිදුලන නොයෙක් කුසුමින් යුතු මකරන්ද
ලෙළදෙන දිලෙන නෙක තුරු වැල් සමඟින් ද
සැනසෙන වන පෙතක දෙව් ලොව සිරි බින්ද
අද දින කුරුලු පැටියෙක් වෙමි තටු සින්ද

නිහඬව හමන මඳ පවනෙහි වුවද වැකී
ඇති බව මුසුව දුක් බර බව කියනු හැකී
යන බව  දැනේ අහසෙහි හිරු කිරණ මැකී
මිලිනව ගොසින් ඇත ලොව ගන'ඳුරෙහි වැකී

Wednesday, November 1, 2017

අළු පාට මිනිස්සු

මිනිස්සු අළු පාටයි.
හරියටම සුදුත් නැහැ, හරියටම කළුත් නැහැ.
සමහරු කළු පැත්තට බර වැඩි වෙද්දි සමහරු සුදු පැත්තට.
කළු-වැඩි අයගේ සුදු පාට,
සමහර වෙලාවකදී සුදු-වැඩි අයගෙ සුදට වඩා දීප්තිමත් ව බබලනව.
සුදු-වැඩි කෙනෙකුගෙ සමාගමයෙදි කළු-වැඩි කෙනෙක් සුදු පාටට හැරෙනව.
අනිත් පැත්ත වුණත් එහෙම තමයි.

සමහර විට එකම කෙනා එකෙකෙනෙකුට සුදු පාටටත් තවත් කෙනෙකුට කළු පාටටත් සලකනව.
එහෙම වෙන්නෙ ඒ අනිත් කෙනාගෙ පාටෙ හැටියටයි කියලයි මට නම් හිතෙන්නෙ.

Tuesday, October 31, 2017

නුඹ සහ මම




නුඹ පහන් කණුවකි
මා ඒ අසළ මෙරුවෙකි
එළිය ගිනි කණ වැකි
මගේ මරණෙට තවත් සැණයකි

විනාඩි කටු

නුඹේ ඔරලෝසුවත්
මගේ ඔරලෝසුවත්
වෙන වෙනම
පැය ගණන්
කැරකෙද්දි
විනාඩි කටු විතරක්
ඉඳහිට
සමපාත වෙන හැටි..!

අද..

මුවේ හස කැන් රැඳී හිතෙන් කඳුළැලි වැටු             ණ
හදේ සිරවුණු සුසුම් මුවෙන් සැඟවී ගෙවු               ණ
අදින් මතු හෙට දිනට පැතුම් කඳු ගොඩ ගැහු         ණ
තවත් එක දිනකි අද අකුරු නැති කවි ගෙතු           ණ 

පරණ කවියක්..


ටු අකුළේ ඉදුණු කර එරමිණියා රස බලන්න
හැන්දෑවට ඇවිද ඇවිද වෙල් හුළඟේ සුව විඳින්න
වැහි දවසට පාර දිගේ නෙස්ටොමෝල්ට් ගඟ බලන්
ඇත්නම් මට අතීතයට එක දවසක් ගිහින් එන්

අවුරුද්දට පැදුරෙ ඉඳන් කෙසෙල් කොළේ කෑම කන්
ගෙයි මිදුලේ පහන් පැලේ සොඳුරු එළිය යලි දකින්
රැලි සවරම් හැඩට දමල වෙසක් කූඩු සරසවන්
ආසයි මන් අතීතයට නැවත යන්න එහි රැඳෙන්

කිචි බිචියෙන් දෙමලිත්තන් හඩ තලනා හැටි අහන්
දො ගහ යට පොකුණු කැටේ නිල් මහනෙල් මල් දකින්
නිල් අහසේ වලා කැටිති රටා හදන හැටි බලන්
අතීතයෙන් එක දවසක් ආයෙත් මට අරන් දෙන්

පොල් අතු වැනි රටාවකට වැලි ගෙමිදුල අතුගාන්
කණ්නාඩිය ලඟට ගිහින් මල් ගවුමේ හැඩ බලන්
ලියන් ගහේ හෙවණ වැටුණ ලී බන්කුවෙ ඉඳන් ඉන්
කාටද හැකි සුන්දර අතීතයට පණ පොවන්

Sunday, October 29, 2017

ආදරණීය ලියන් ගස..


ආදරණීය ලියන් ගස..

මට ඕන..
නුඹ ළඟින් ඉන්න..
නුඹේ සෙවණේ සැනසෙන්න..
නුඹේ ළඟ රැඳි
නිහඬතාවයට
ඇහුම් කන් දෙන්න..
නුඹේ තුරු පත් අතරින්
හිරු එළිය දකින්න..

ඒත් නුඹ..
ගොඩක් දුර,
මගේ පා නොගැටෙන බිමක..
මුල් ඇදපු ගහක්...

වැලි බිඳක්..


මං වෙනුවෙන්
වැලි බිඳක්
වෙන් කරනවද..
ආදරය මුසු වුණ
වැලි බිඳක්..
හිත හීරෙන්නෙ
නැති වෙන්න,
හොඳටම සියුම්
වැලි බිඳක්..

Friday, October 27, 2017

නුඹ..


සැඬ පහරකට හසුව
ගසාගෙන යන විට,
නුඹයි මට දිරි දුන්නෙ
රළ සමඟ පීනන්න..

මහ කුණාටුව මැද
බිඳී මිය යන විට,
නුඹයි ඔවදන් දුන්නෙ
හිතට සවියක් ගන්න..

රළු බොරළු පොළවක
දෙපා පැකිළුණ විට,
නුඹ තමයි අත දුන්නෙ
ආයෙමත් නැගිටින්න..

මිතුරු සුවඳක වෙළී
පෙර සසරෙ පුරුද්දට
නුඹ අදත් ළඟ ඉන්නෙ,
එපා තව දුර යන්න..

මම ගසක් වෙමි


යනෙන සමහර අය..
බඩගිනි වවුලන් ය,
පලතුරු සාරය උරා බී..
රොඩ්ඩක් ඉතිරි කර යති.

තවත් සමහරු..
පියාඹන කුරුල්ලන් මෙනි.
මඳකට ගිමන් හැර,
තමන්ගේ ගමන යති.

සමහර දෙනෙක්,
කුණාටුව වී හමමින්..
අතු ඉති ද පොඩි කර..
බොහෝ හිරිහැර කරති.

කලාතුරකින් කෙනෙක්..
ඉඩෝරෙට වහින වැහි වී,
සිතද සුවපත් කර..
ජීවයෙන් නහවති.

මම ගසක් වෙමි,
හරිත දළු ලා වැඩෙන..
සිසිල් සුළඟට සැලෙන..
ලපටි තුරු පත් දරන..

(පින්තූරය-https://i.pinimg.com/736x/b6/bd/a8/b6bda8487fd986e055528ced69605125--lush-green-go-green.jpg )

Thursday, October 26, 2017

දේදුණු..


දේදුණු පායන්නෙ
අවුවත් වැස්සත්
දෙකම ඇති වෙලාවට..

ජීවිතේ සුන්දර වෙන්නෙ
සතුටත් දුකත්
දෙකම ඇති වෙලාවට ද?..

දේදුණු පායන්නෙ
හීන් පොද වැස්සට...

ඒත් වහින්නෙ
අනෝරා වැහි නම්...?

වැහි බිඳු

කඳුළු වලින්
හැදුන වැහි බිඳු..
දුක් කඳුළු
සහ
සතුටු කඳුළු...
ඒව පොළොවට වැටෙද්දි,

අකුරු බවට පත් වෙනව...

ළබැඳියන් දුර වීමත් හදවත් නොහැඳිනීමත් කඳුළු සැඟවීමත් නොසිදුවිය යුතු දෙයකි කාටත් ගත සිත ගිලන් වීමත් නමුදු නැති බව මවා පෑමත් යුතු දෙයකි කෝමත් ව...