නොනැවතී කැරකෙන ඔරලෝසු කටු එක්ක තරඟෙට දුවන මිනිස්සු. ඒ ඔරලෝසු කටු එක්කම දුවපු මගේ සිතුවිලි ලෝකෙ සුන්දරයි. වර්ණවත්. ඒත් සුන්දර බව සහ අසුන්දර බව අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක්. ඔහේ පාවෙන සිතුවිලි හුළඟට ගහහෙන යන්නෙ නැතුව මගේ ඔලුවෙ ගොඩගැහෙද්දි දරාගන්න බැරි වුණ තැන මං කරේ මත් පැනේ පිහිට හොයපු එක. මත් පැන් මගේ හිත තාවකාලිකව සනීප කරත් අක්මාව සදාකාලිකව අසනීප කරා. මං දැන් මිය යමින් ඉන්නෙ. දොස්තරට නොතේරෙන දෙයක් මට දැනෙනව. ඒ තමයි ඔලුවෙ ගොඩ ගැහුණ අමිහිරි සිතුවිලි මගේ හුස්ම ටිකෙන් ටික හිර කරන බව.
ඔහු රොබෝවෙක්. අසාධාරණ වෙන්න ඕන තැනදි අසාධාරණ වුණ කෙනෙක්. මම සමාජ සම්මත සාරධර්ම වලින් පොහොසත් වෙද්දි ඔහු පොහොසත් වුණේ මුදල් වලින්. රොබෝවෙකුට හැඟීම් තියනවද? නැහැ. ඒත් හැඟීම් පෙන්විය යුතු තැනදි එතැනට වුවමනා හැඟීම වුවමනා තරමට වුවමනා කාල සීමාවෙදි පෙන්නන්න රොබෝවෙකුට පුලුවන්. රොබෝ ජීවිතය ලස්සනයි. පරිපූර්ණයි. සමාජ රාමුවට හොඳින් ගැලපෙන පින්තූරයක් වගෙයි. උඩින් තියන ලස්සන පින්තූරෙ විතරයි වීදුරුවෙන් පිටතට පේන්නෙ.
මිය යන මොහොතෙදි මං දැනගත්තෙ රොබෝ මූලධර්මය; මේ අසාධාරණ ලෝකෙට සාධරණයක් ඉෂ්ඨ කරන්න මහන්සි වෙන්න ඕන නෑ කියන එක.
No comments:
Post a Comment