Friday, November 23, 2018

...

කොණක වත් ඉඩ නැද්ද ඔය හිතේ ගුලි වෙන්න
රතු දෙතොල් අවසඟ ද වදනකුදු මුමුණන්න
ආදරේ සුවඳ කැවු ඔවදනක් දී යන්න
වසන්තයෙ මුදු සුළඟ නුඹ යළිත් පැමිණෙන්න

පාළු ඇයි?

හුදෙකලා බව දැනී
පාළු ඇයි මගෙ ලෝකෙ
නුඹ මගේ ළඟ ඉද්දි
නින්ද නැති සිහින වල

පුංචි තරුවක් වෙලා
ඉන්න බැරි ඇයි නුඹට
අමාවක රෑ අහස
යන්තමින් එළිය කළ

Tuesday, September 11, 2018

නුඹේ ඇම ගිල්ල මම

නුඹ මිනිසෙක්
ගොඩ බිම;
මම මාලුවෙක්
දිය යට..
නුඹ දාපු ඇම,
ගිල්ලෙ මම විතරයි,
තව මාලු හිටියට..
මුල දි සුවයක් වුණත්
ඇමෙහි පැටළුණු එක,
වේදනා දුනි එය ද පසුවට..
නුඹ දාවි
තව ඇමක් වතුරට,
නුඹ අසළ
මගෙ හුස්ම යන කොට..

Friday, August 31, 2018

තේරවිලි

විසඳුවෙමි
නුඹ මට (නො)දුන්
තුන් තේරවිලි;
"මුලාව නම් - නුඹ ය.
නුඹ නම් - මුලාව ය."

තව ද,

විසඳුවෙමි
මා මට ම දුන්
තුන් තේරවිලි,
"මුලා වුණේ
මා මට ම පමණකි."


Sunday, July 29, 2018

අතුරුපස වෙම් ද


මිතුරු සිත වෙමි ය මම -
ඔය හදවතේ වෙළෙන
මඳ පවන වෙමි හමන -
ඔබෙ සුවඳ ලොබ බඳින
රිදුම් දෙන හද මඬල -
මිහිරියාවක ගිලුණ
අතුරුපස වෙමි ඔබට -
රස බලන්නට සිතුණ

Wednesday, April 18, 2018

පහන් තරුව

පහන් තරුව නැගෙනහිරින් - හිරුට කලින් එළිය දුන්න
සිහින් සරින් ගැයුණු ගීත - පවන් රොදක සඟව ගන්න
දැහැන් බිඳින නාරි ලතා - මල නටුවෙන් සිඳ දමන්න
වහන් වෙලා ඇස් මානෙන් - දුර අහසේ  සැඟව යන්න

Tuesday, April 3, 2018

කතාවක්


එයා නැවියෙක් ලු
උතුරුකරයෙදි
ශේන්‍ යා බයවෙලා අඬනකොට
සීතලට කඳුළු වැල් මිදෙනකොට
බේරා ගත්තලු
නපුරු වලසුන් හත් දෙනාගෙන්.

සතර අතින් ම
සෙල්ලම් බඩු ගලාගෙන ඇවිදින්
ආයෙමත් යනකොට
තියා ගත්තලු ඉහ ඉද්දර
බූල් ඇති රෝස පාට වලසෙක්
තනි නොතනියට.

අන්තිමම මල් පෙත්තෙන්
ඉල්ලන්න දෙයක්
හිත හිතා යනකොට
වීත්‍ යා නොහිටපු නිසා
ඉල්ලුවෙ
සීනිබෝල රාත්තල් බාගයක්
මොනවත් ම නැති කමට.

ආඩතාලෙට තියපු
පුටුවක් උඩ නැගල
ඈතින් පියාඹන
කුරුල්ලන් ගැණ බලද්දි
බිම වැටී බිඳී ගිය
අම්මගෙ හොඳම මල් පෝච්චිය,

තාමත් මම කෑලි අහුලනව
තිබුණ විදියට ආයෙමත් හදන්න.

Monday, April 2, 2018

සඳ මඬල නුඹ කොහි ද


හි රු  ගෙ සැඬ රැස් කිරණ වැදී මුදු පත් මතට
තු රු  ලතා මිලානව ගියා දුක් බර ලෙසට
හි රු  ගිලී අවර'ගින් නිදන තුන් තිස් පැයට
සු රු  වමට සඳ එළිය සිසිල විය ළොව වෙතට

මි ලි න   වු ණ  තුරු ලතා වෙත සුවය පෙව්වා
සු ව ඳ  දෙ න  කොඳ කැකුළු මලින් සැරසෙව්වා
මි හි රි  ව න  කුරුටු ගී සවනතට කැව්වා
ස ඳ  කි ර ණ  සවිය වී ජීවිතය මැව්වා

ස ඳ  වතෙහි ගුණ වරුණ නොගැයුව ද නුඹට
හ ද  වතෙහි ලියා ඇත නොමැත එහි කහට
අ ද  අඳුරු අමාවක දිනකි නුබ ගැබට
ස ඳ  මඬල එනු මැනවි නැවත පුර පසට







Monday, March 19, 2018

මක් වෙයි ද

ඇඟට බොන
බෙහෙත් පෙති
වේලකට
නොබිව්වට
මක් වෙයි ද..
හිතට එන
වස පොදෙන්
ටිකෙන් ටික
මිය යන මට..

Saturday, March 10, 2018

කතාවක්

ඒ අතීතය
ආයෙ එන්නෙ නෑ
ඉවාන්..
ඔබ ආයෙමත්
ප්‍රීතිමත්
තරු ඇස් තියන
ඉවාන් වත්,
මම ආයෙමත්
සතුටෙන් පිම්බුණ
රෝස කම්මුල් තියන
සාෂෙන්කා වත්
වෙන්නෙ නෑ...
ඔබ,
පිනි පිරුණ මල් වැටුණ
තණ බිම් දිහා,
ඉර එළිය ඔප වැටුණ
රන්වන්කෙත් වතු
දිහා බලාවි,
ඒත්
සාෂෙන්කා දිහා
නොබලාවි...
ඔබ
නොඑන එක හොඳයි
අද මම ඉන්නෙ
පොළොවෙ පස් යට...
රෝස කම්මුල් වෙනුවට
දිරාපත් වෙන
සුදුමැලි කම්මුල්...
ඔබ බොහොම අගේ කළ
නිල් පාට වීදුරු ඇස්
සදහටම පියවිලා...
ඉතින්
ආයුබෝවන් ඉවාන්,
ඒ අතීතය
ආයෙ එන්නෙ නෑ..


Monday, March 5, 2018

....


දුරකතනය දිගේ
තනි කම තවරපු
වචන එක පිට එක
එනකොට..
උතුරා ගලා ගිය
ලුණු රසැති
උණු කඳුළු
පිසලන්න..
ළඟ හිටියෙ
සාරි පොට
නුඹ විතරමයි
මගෙ තනියට...

Saturday, February 10, 2018

සුවෙන් තුරු මත වැඦඹෙන - පොකුරු මල් කැන් දැක දැක...
නුවන් එතරම් නොඇදෙන - හුදෙකලා අතු අතරෙක...
වහන් කරගෙන තනි කම - පාට කළ මල් පෙත්තක...
පිපෙන්නම් මම තනිවම - හිරු ද සැඟවුණ සවසක...

ළබැඳියන් දුර වීමත් හදවත් නොහැඳිනීමත් කඳුළු සැඟවීමත් නොසිදුවිය යුතු දෙයකි කාටත් ගත සිත ගිලන් වීමත් නමුදු නැති බව මවා පෑමත් යුතු දෙයකි කෝමත් ව...