Thursday, March 21, 2024




ළබැඳියන් දුර වීමත්

හදවත් නොහැඳිනීමත්

කඳුළු සැඟවීමත්

නොසිදුවිය යුතු දෙයකි කාටත්


ගත සිත ගිලන් වීමත්

නමුදු නැති බව මවා පෑමත්

යුතු දෙයකි කෝමත්

වෙරෙන් පා මත සිට ගැනීමත්


රිදවන අයද සමඟත්

වෙසෙසින් සිනා සීමත්

නුපුරුදුම නූනත් 

වෙහෙස ගෙනදෙන දෙයකි තාමත්


අතු මත මල් පිපීමත්

ඒ මල් සුවඳ දීමත්

දුකකි හැමදාමත්

නෙළා ගැනුමට නොහැකි වීමත්


සදා කළුවර මුත්

කලු වලාකුළු රැඳුණත්

අමාවක අහසෙත්

සඳක් පායන සුබ දිනක් වෙත්





Thursday, January 10, 2019

හෝඩි පොත


පළවෙනි පිටුව
පෙරළන කොට ම..
දෛවයේ සැඬ සුළඟෙ
ගසා ගෙන ගිය..
ජීවිතේ හෝඩි පොත -
නුඹ..

Friday, November 23, 2018

...

කොණක වත් ඉඩ නැද්ද ඔය හිතේ ගුලි වෙන්න
රතු දෙතොල් අවසඟ ද වදනකුදු මුමුණන්න
ආදරේ සුවඳ කැවු ඔවදනක් දී යන්න
වසන්තයෙ මුදු සුළඟ නුඹ යළිත් පැමිණෙන්න

පාළු ඇයි?

හුදෙකලා බව දැනී
පාළු ඇයි මගෙ ලෝකෙ
නුඹ මගේ ළඟ ඉද්දි
නින්ද නැති සිහින වල

පුංචි තරුවක් වෙලා
ඉන්න බැරි ඇයි නුඹට
අමාවක රෑ අහස
යන්තමින් එළිය කළ

Tuesday, September 11, 2018

නුඹේ ඇම ගිල්ල මම

නුඹ මිනිසෙක්
ගොඩ බිම;
මම මාලුවෙක්
දිය යට..
නුඹ දාපු ඇම,
ගිල්ලෙ මම විතරයි,
තව මාලු හිටියට..
මුල දි සුවයක් වුණත්
ඇමෙහි පැටළුණු එක,
වේදනා දුනි එය ද පසුවට..
නුඹ දාවි
තව ඇමක් වතුරට,
නුඹ අසළ
මගෙ හුස්ම යන කොට..

Friday, August 31, 2018

තේරවිලි

විසඳුවෙමි
නුඹ මට (නො)දුන්
තුන් තේරවිලි;
"මුලාව නම් - නුඹ ය.
නුඹ නම් - මුලාව ය."

තව ද,

විසඳුවෙමි
මා මට ම දුන්
තුන් තේරවිලි,
"මුලා වුණේ
මා මට ම පමණකි."


Sunday, July 29, 2018

අතුරුපස වෙම් ද


මිතුරු සිත වෙමි ය මම -
ඔය හදවතේ වෙළෙන
මඳ පවන වෙමි හමන -
ඔබෙ සුවඳ ලොබ බඳින
රිදුම් දෙන හද මඬල -
මිහිරියාවක ගිලුණ
අතුරුපස වෙමි ඔබට -
රස බලන්නට සිතුණ

Wednesday, April 18, 2018

පහන් තරුව

පහන් තරුව නැගෙනහිරින් - හිරුට කලින් එළිය දුන්න
සිහින් සරින් ගැයුණු ගීත - පවන් රොදක සඟව ගන්න
දැහැන් බිඳින නාරි ලතා - මල නටුවෙන් සිඳ දමන්න
වහන් වෙලා ඇස් මානෙන් - දුර අහසේ  සැඟව යන්න

Tuesday, April 3, 2018

කතාවක්


එයා නැවියෙක් ලු
උතුරුකරයෙදි
ශේන්‍ යා බයවෙලා අඬනකොට
සීතලට කඳුළු වැල් මිදෙනකොට
බේරා ගත්තලු
නපුරු වලසුන් හත් දෙනාගෙන්.

සතර අතින් ම
සෙල්ලම් බඩු ගලාගෙන ඇවිදින්
ආයෙමත් යනකොට
තියා ගත්තලු ඉහ ඉද්දර
බූල් ඇති රෝස පාට වලසෙක්
තනි නොතනියට.

අන්තිමම මල් පෙත්තෙන්
ඉල්ලන්න දෙයක්
හිත හිතා යනකොට
වීත්‍ යා නොහිටපු නිසා
ඉල්ලුවෙ
සීනිබෝල රාත්තල් බාගයක්
මොනවත් ම නැති කමට.

ආඩතාලෙට තියපු
පුටුවක් උඩ නැගල
ඈතින් පියාඹන
කුරුල්ලන් ගැණ බලද්දි
බිම වැටී බිඳී ගිය
අම්මගෙ හොඳම මල් පෝච්චිය,

තාමත් මම කෑලි අහුලනව
තිබුණ විදියට ආයෙමත් හදන්න.

Monday, April 2, 2018

සඳ මඬල නුඹ කොහි ද


හි රු  ගෙ සැඬ රැස් කිරණ වැදී මුදු පත් මතට
තු රු  ලතා මිලානව ගියා දුක් බර ලෙසට
හි රු  ගිලී අවර'ගින් නිදන තුන් තිස් පැයට
සු රු  වමට සඳ එළිය සිසිල විය ළොව වෙතට

මි ලි න   වු ණ  තුරු ලතා වෙත සුවය පෙව්වා
සු ව ඳ  දෙ න  කොඳ කැකුළු මලින් සැරසෙව්වා
මි හි රි  ව න  කුරුටු ගී සවනතට කැව්වා
ස ඳ  කි ර ණ  සවිය වී ජීවිතය මැව්වා

ස ඳ  වතෙහි ගුණ වරුණ නොගැයුව ද නුඹට
හ ද  වතෙහි ලියා ඇත නොමැත එහි කහට
අ ද  අඳුරු අමාවක දිනකි නුබ ගැබට
ස ඳ  මඬල එනු මැනවි නැවත පුර පසට







Monday, March 19, 2018

මක් වෙයි ද

ඇඟට බොන
බෙහෙත් පෙති
වේලකට
නොබිව්වට
මක් වෙයි ද..
හිතට එන
වස පොදෙන්
ටිකෙන් ටික
මිය යන මට..

ළබැඳියන් දුර වීමත් හදවත් නොහැඳිනීමත් කඳුළු සැඟවීමත් නොසිදුවිය යුතු දෙයකි කාටත් ගත සිත ගිලන් වීමත් නමුදු නැති බව මවා පෑමත් යුතු දෙයකි කෝමත් ව...